මට ඕනෙ හාවා වෙන්න!

in Steem Sri Lanka11 months ago

රාගම යන දවසට අවිස්සාවෙල්ලෙ ඉඳන් එන ට්‍රේන් එකට නාරහේන්පිටින් නැග්ගම ඒකෙ ඉන්න සාරි, කලිසම්, කමිස ඇඳගත්ත නෝනලා මහත්තයලා හොඳටෝම නින්දෙ. උදේ පාන්දර වුණත් මුහුණු වෙහෙසකරයි. හවසට එනකොට ඒක ඊටත් වැඩියෙන් පේනවා. ඔය මූණු මඟ ඇරලා අත් ඇරලා ඉන්න හිතාගෙනත් දැන් සෑහෙන කාලයක්. ඒත් මේ දිග කවිය දැක්කම මගෙ මතකෙට මුලින්ම ආවෙ ඒ මුහුණු මාව පීඩාවට පත් කරපු දවස්. තෘප්තිමත් මූණු, තෘප්තිමත් ජීවිත මේ රටේ හිඟයි. ඉස්සරහට තවත් හිඟ වෙයි.

අපි දාගෙන ඉන්න සතුටු වෙස් මුහුණ පිටිපස්සෙන් අපි දරාගෙන ඉන්න දේ, එදිනෙද ජීවිත අරගල, හොරෙන් අඬලා මුකුත් නොවුණ ගානට ආයෙත් මූණ හදාගන්න එක දන්නෙ අපි විතරයි. සමහරක් විට මම විතරයි. මේ කවිය ඒ වගේ ගොඩාක් දේ මට මතක් කරා. මම මේක මෙහෙම බෙදාගන්න හිතුවෙත් මේ කවියෙ අපි ගැන කතා කරන නිසා. සමහරක් විට මේ කවිය කියෙව්වම මේ කවියෙ මං ඉන්නෙ කොහොමද කියලා ඔයාටත් හිතෙන්න පුලුවන්.

7551C5EE-2D3E-4A20-ACEF-7521C058BB14.jpeg

නින්ද යනු දවස අග temporary මරණයක්
එලාමය හඬන තුරු ණයට ගත් සහනයක්

රාත්‍රියෙ මළකුණ පණගසයි හෙට උදේ
කාන්සියෙ සළකුණ මුද්‍රිතව ඇස් වටේ
ආත්මය මිරිකන ටයි පටිය ගෙල දිගේ
පැළඳගත් සොම්බියෙකි, ගෙදර කණ්ණාඩියේ
අම්මෙ, ඒ මං නෙමේ


"අම්මෙ කෝ මං වැඩට දාන වෙස්මූණ...?"

"ඊයෙ ගලවපු තැන ඇති... මං ඕවා ගත්තෙ නෑ..."


වෙලාව උදේ හත හමාරයි
බස් එහෙක බඩ කැවුතු
ඇඹරෙමින්, කැළතෙමින්
හෝල්ට්වල මිනිස් පොදි වමාරයි
සීට් ළඟ තෙරපෙමින්
පොඩිවෙමින් - සියක් ඇස්
'ළඟ බහින' අයෙකුගේ
සිරුරු බස සංයමෙන් හදාරයි

"ජීවිතේ රවුම දුවන්න
මට කොටුවට ටිකට් එකක් දෙන්න..."

"තව රුපියල් හතරක් මදි..."

"මදි වෙන්නෙ කොහොමද? මං ඊයෙ ගියෙත් මේ ගාණට..."

"ඒත් මහත්තයා ඊයෙ හිටපු කෙනාමද...?"

"..............."


ට්‍රැෆික් ලයිට් එක හිල් වී
බිමට වැක්කෙරෙයි කාලය
නොයිවසිල්ලෙ සුසුම්වලින්
තදබද වෙයි අවකාශය

රතු වැටෙන තුරු
නොයිවසිල්ලෙනි යාචක
කොළ වැටෙන තුරු
නොයිවසිල්ලෙනි ධාවක
වැටෙන කොළ දෙස බලා
සිහින් සුසුමක් හෙළයි
සනීපාරක්ෂක සේවක


LinkedIn හෑලිවල පම්පෝරි වපුරන්න
Motivation post ගැලරියේ පුරවන්න
Insta Storyවල ජීවිතේ අමුණන්න
නොනවතින තරගයට වේගයෙන් දුව යන්න

හෙටත් ඒ සොම්බියා ඒවි මේ පාරෙන්ම


"අම්මෙ මගෙ ඇඳ යට හිටපු රාස්සයා කෝ...?"

"ඌ දැන් ඉන්නෙ ඇඳ උඩ..."


මට කියන්න දෙයක් තියෙනවා...

සමාවෙන්න,
මෙච්චරකල් බොරු කිව්වට...
හිමින් හිමින් නියම තැනට ළං වුණාට
මං 'ඉබ්බට' කැමතිම නෑ...

මට ඕනෙ 'හාවා' වෙන්න...
රේස් එකෙන් අයින් වෙලා
කොතැනක හරි ගහක් යටට
ගිහින් ටිකක් නිදාගන්න...

-සචින්ත ප්‍රමෝද් නාඔටුන්න-

මේ කවියෙ අපේ රටේ බහුතරයක් ඉන්නවා. මමත් ඉන්නවා. දුකයි තමයි ඒත් මේක මට නම් ඉස්තරම්ම කවියක්! මට ඕනෙත් හාවෙක් වෙන්න! කොතැනක හරි ගහක් යටට ගිහින් ටිකක් නිදාගන්න!

Sort:  

Eke wachana harima powerful....